ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්කට ඇපත් නැහැ

0
28

ස්ත්‍රී දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රඳවා සිටින ධනිෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි නුවර විවර්ලි අධිකරණය යළි ප්‍රතික්ෂේප කළා.

ඒ, මාංචු සහිතව සිටි ධනිෂ්ක, වීඩීයෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදියි.

මෙහිදී විනිසුරුවරයා නියෝග කළේ මොහුව සිඩ්නි හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටයි.

මොහු පළමුවරට පැරමෙටා අධිකරණ්‍යට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කළ අතර, ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ධනිෂ්ක ගුණතිලක ඊයේ අලුයම එකට පමණ සසෙක්ස් ප්‍රාන්ත පොලිසියේ ලිංගික අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, 29 හැවිරිදි කාන්තාවක් සිඩ්නි පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.

එම පැමිණිල්ල මගින් දක්වා තිබුණේ සිඩ්නි නුවර රෝස් බේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ධනිෂ්ක ගුණතිලක විසින් අවස්ථා හතරකදී සිය කැමැත්තකින් තොරව ලිංගික අතවර සිදුකළ බවටයි.

පසුව සිඩ්නි පොලිසිය චෝදනා හතරක් යටතේ ධනිෂ්කට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළා.

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භයේදී ආබාධයට ලක්වූ ධනිෂ්ක ගුණතිලක සංචිතය තුළ රඳවාගැනීම පිළිබඳ මෙම සිද්ධියෙන් පසුව ප්‍රශ්න ගත තත්වයක් උද්ගත වුණා.

වෙනත් තරගවලදී ආබාධයකට ලක්වූ සෙසු ක්‍රීඩකයන් ආපසු ශ්‍රී ලංකාවට එවද්දී, ධනිෂ්ක සංචාරය අවසන් වනතුරු කණ්ඩායමේ තබාගැනීම තුළින් සිදුකර ඇත්තේ විශාල වරදක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

එසේ වූයේ ධනුෂ්ක වෙනුවට අශේන් බණ්ඩාර නිල වශයෙන් කණ්ඩායමට ඇතුළත් කර තිබියදියි.

මෙම තීරණය ගනු ලැබුවේ තේරීම් කමිටුවේ වැඩි පිරිසක් එහි සිටියදී වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ඊට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනිෂ්කගේ ආබාධ තත්වය කඩිනමින් යථා තත්වයට පැමිණීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඔහු සංචිතයේ තබාගත් බව ප්‍රකාශ කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ධනිෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඔහු වරදකරු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව ප්‍රකාශ කළා.

ධනිෂ්ක ගුණතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට කළු පැල්ලමක් එක් කළ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙරද ජාත්‍යන්තර තරග සංචාරවලදී මෙන්ම ශ්‍රී ලංකාව තුළදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ලවී තිබුණා.

දැනට සිඩ්නි අධිකරණයේ විභාගයට ලක්වෙමින් පවතින බරපතල චෝදනා සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට සිර දඬුවම් විඳීමට පවා සිදුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීතිවේදී ආචාර්ය චානක සේනානායක ඊයේ සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කියා සිටියේ වෘත්තිමය ක්‍රීඩකයන් සිය පෞද්ගලික හැසිරීම සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බවයි.

පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා පිල දිවයිනට පැමිණීමට පෙරයි මහේල ජයවර්ධන මෙරටට පැමිණ තිබුණේ.

ආසියානු කුසලානය දිනා පැමිණීමෙන් පසු ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට උනුසුම් පිළිගැනීමක් හිමිවූ නමුත් පන්දු වාර විස්ස ලෝක කුසලානයට සහභාගිවී පැමිණි ශ්‍රී ලංකා පිල පිලිගැනීමට කිසිවෙකුත් පැමිණ නොසිටීම විශේෂත්වයක්.

මේ අතර ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ධනිෂ්ක ගුණතිලකට පරීක්ෂණ අවසන් වනතුරු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු තරග සඳහා තහනමක් පැනවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here