ඩයනාට එරෙහි විදේශ ගමන් තහනම දීර්ඝ කෙරෙයි- පොලීසියට දැඩි දෝෂාරෝපණයක්

0
36

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද නියෝග කළා.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කර සිටියා.

“පොලිසිය මේ විමර්ශනය හරියට නොකරන නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇතිවෙලා තියෙන්නේ. බලවත් අයට විරුද්ධව පරීක්ෂණයක් ආවම ඒක අතහැර දානවා. ඒක මට හොඳට පේනවා. මට විතරක් නෙවෙයි සාමාන්‍ය මිනිසුන්ටත් පේනවා බොරූවක් කරන බව. නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. පරීක්ෂණ යටපත් කරන්න බෑ. “ යනුවෙන් චෝදනා කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සහ ප්‍රකාශවල පිටපත් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයක් පැමිණ තම සේවාදායිකාවට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළා.

නඩුවට සම්බන්ධ නොමැති බාහිර පාර්ශ්වයකට මෙවැනි නියෝගයක් ලබාගැනීමට හැකියාවක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

“ස්වාමීනි… මාගේ සේවාදායිකාව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ නම් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළ යුත්තේ ආගමන හා විගමන පාලකවරයා. එහෙත් ආගමන සහ විගමන පාලකවරයා මේ දක්වා එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කර නෑ.
මෙම සිද්ධියට අදාළව පොලීසිය විමර්ශන කර වාර්තා සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. මෙම සිද්ධියෙන් අපරාධමය වරදක් මතුවී තිබෙනවා ද? යන්න නිගමනය කිරීමට සුදුසුම පුද්ගලයා තමයි නීතිපතිවරයා. නීතිපතිවරයා වරයා එම කාර්යය ඉටු කරයි.”
නීතිපතිවරයා තීරණයක් ගන්නා තුරු තම සේවාදායිකාවට එරෙහිව පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පැමිණිලිකාර ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විරෝධය පළකර සිටියා.

“ස්වාමීනි… ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා තමාගේ සේවාදායිකාව සංචාරක රාජ්‍ය ඇමතිනිට නිසා රටින් පලා යන එකක් නැහැ කියලා. ඒක පිළිගන්න බැහැ ස්වාමීනි… ජනාධිපතිවරයාත් පලාගිය රටක් මේක. ඉතිං රාජ්‍ය ඇමතිවරියකට රටින් පලා යන එක ලොකු දෙයක් නෙමෙයි. නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදී ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක රාමවික්‍රම මහතා ඩයනා ගමගේ නමැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වශයෙන් සඳහන් කර තිබෙනවා. ඇය එම කාරණය වසන්කර විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබාගෙන තිබෙන බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඩයනා ගමගේ නමැත්තියගේ උප්පැන්න ජාතික සහ ජතික හැඳුනුම්පත් ද ව්‍යාජ බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන “බී” වාර්තාවේ සඳහන් කර තිබෙනවා ඩයනා ගමගේ නමැත්තියට එරෙහිව අපරාධමය වරදක් නිරීක්ෂණය වන බව. එසේ නම් පොලිසිය කළ යුත්තේ කුමක්ද? එම තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 116 වගන්තිය යටතේ ඊට අදාළ බලතල පොලිසියට තිබෙනවා. පොලීසිය එම බලය භාවිත නොකොට පරීක්ෂණ වාර්තා නීතිපතිවරයාට යොමු කර නීතිය මගහැර යාම නීතියට පිටුපෑමක්. මේ විමර්ශනය අධික්ෂණය කරන්නේ නීතිපතිවරයා නෙවෙයි, ඔබතුමා. පොලිසියට නීති අනුකූලව කටයුතු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්න. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක්.ඇයට අපගේ පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මහජනයා ගෙවන බදු මුදලින් වැටුප් හා වරප්‍රසාද ලබාගන්න ඉඩ දෙන්න බෑ.”
යනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මහේස්ත්‍රාත්වරයා ගෙන් ඉල්ලා සිටියා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අතුල රණගල, තුසිත ගුණසේකර ඇතුළු නිතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඩයනා ගමගේ නමැත්තියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති නිසා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

තවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණය මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අයගේ බලපෑම් මත යටපත් කර තිබූ බව චෝදනා කළා.

මෙම විමර්ශනය ඉතා නිර්භීතව සිදු කළ පොලිස් නිලධාරියා මාරු කර හැරීමටත් ඔවුන් කටයුතු කළ බව පැවසූ නීතිඥ වන්නිනායක මහතා නීතියට අනුව කටයුතු නොකරන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙවියන්ගේ පිහිටයි යනුවෙන් සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ දැනට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 15 වන දා ප්‍රකාශයට පත් කරන බවයි.

එතෙක් විදේශ ගමන් තහනම දීර්ඝ කරන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකර ලෙස ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී එම කරුණු ඉදිරිපත් කිරීම සිදුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here