මනුෂ්‍යත්වයට ගිනි තැබූණු, කුමාර දියවඩන මහතාගේ මෘත දේහය දිවයිනට

0
193

පාකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස පහරදී පුළුස්සා ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මෘත දේහය පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට අද පස්වරුවේ මෙරටට රැගෙන ආවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මීගමුව මහ රෝහලට භාරදුන් අතර අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරීමට නියමිතයි.

ලොවපුරා හදවත් සසල කරමින් පාකිස්ථානයේ අන්තවාදී සංවිධානයක් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව කැපුම් තුවාල හේතුවෙන් වෙන් වී තිබූ සිරුරු කොටස් සකස් කර මෘත දේහය ලාහෝර් පොලිසියට බාරදී තිබුණා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ප්‍රියන්ත දියවඩන මහතාගේ දේහය සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේ සිට පාකිස්ථානයේ ලාහෝර් නුවර දක්වා රැගෙන ආවා.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය දිවයිනට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපාදන පැය 48ක කාලයක් ඇතුළත සපයා දීමට පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා කටයුතු කර තිබෙනවා.

දේහය අද පෙරවරුවේ පාකිස්ථානයේ ලාහෝර් රෝහලේ සිට ලාහෝර් ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවා.

ලාහෝර් ගුවන්තොටුපලේදී පංජාබ් ප්‍රාන්ත රජය විසින් ප්‍රියන්ත දියවඩන මහතාගේ දේහය නිල වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට සහ මෙරට බලධාරීන්ට භාර දුන්නේ ඉන් පසුවයි.

ඒ අනුව, පටු අන්තවාදයට බිලි වී අන්තවාදීන් අතින් ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මෘත දේහය අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආවා.

දේහය භාරගැනීමේ අවස්ථාවට පාකිස්ථානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

අනතුරුව ප්‍රියන්ත දියවඩන මහතාගේ දේහය මීගමුව මහ රෝහල වෙත රැගෙන ගියේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සදහායි.

පාකිස්ථානයේ සියල්කොට් නුවර ඇගලුම් කර්මාන්තශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කිරීම සඳහා මෙරටින් පිටව ගිය මේ දෙදරු පියාට දේශසීමා නැති ම්ලේච්ඡ අන්තවාදය හේතුවෙන් යළි මෙරටට පැමිණීමට සිදුවුණේ ප්‍රාණය නිරුද්ද වූ සිරුරින්.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා ගණේමුල්ල – පොල්හේන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් 26 දෙනෙකු පාකිස්ථානයේ ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ ඔවුන් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මෙම ඝාතනයට අදාළව තවත් සැකකරුවන් 7 දෙනෙකු පංජාබ් ප්‍රාන්ත පොලිසිය අද අත්අඩංගුවට ගත් අතර ඒ අනුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 131ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here